වාර්තා රැසක් අලුත් වූ තරඟයේ ජය හයිද්‍රාබාදයට.. -
All News

වාර්තා රැසක් අලුත් වූ තරඟයේ ජය හයිද්‍රාබාදයට..

මෙවර IPL තරඟාවලියේ 08 වන තරඟය සන්ර‍යිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ පැවැත්වුණා. IPL ඉතිහාසයේ වාර්තාගත තරඟයක් වූ මෙම තරඟයේ ජය වාර්තා කිරීමට සන්ර‍යිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් සන්ර‍යිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 03 කට ලකුණු 277 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට සමත්වුණා. මෙට වාර්තා වුණේ IPL ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. ඔවුන් 2013 වසරේ පූනේ වොරියර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 263-5 ක ලකුණු පුවරුවක් ගොඩනඟා තිබුණා.

සන්ර‍යිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වාර්තාගත ඉනිමේදී විශිෂ්ට ඉනිමක් දියත්කරමින් IPL ඉතිහාසයේ සන්ර‍යිසස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම අර්ද ශතකයත් සමඟින් පන්දු 24 කින් ලකුණු 62 ක් වාර්තා කිරීමට ට්‍රැවීස් හෙඩ් සමත්වුණා. ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ අභිශේක් ශර්මා පන්දු 16 කින් අර්ද ශතකය වාර්තා කරමින් ට්‍රැවීස් හෙඩ්ගේ වාර්තාව තමා සතු කරගැනීමටද ඔහු සමත්වුණා. ඔහු පන්දු 23 කින් ලකුණු 63 ක් රැස්කළ. තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේදී අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත්කළ හෙනරිච් ක්ලාසන් පන්දු 34 කින් නොදැවී ලකුණු 80 ක් රැස්කළා.

දිල්ශාන් මදුසංක වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එක්වූ යොවුන් ක්‍රීඩක ක්වෙන් මපාකා මෙම තරඟය ක්‍රීඩාකළ අතර ඔහුගේ පන්දුවාර 04 ට ලකුණු 66 ක් වාර්තා වුණා. මෙය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ වාර්තා වූ දුර්වලම පන්දුයෑවීම සමකිරීමක් ලෙසයි. මීට පෙර කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ මූජිබ් උර් රහ්මන්ට එරෙහිවත් ලකුණු 66 වාර්තා වී තිබුණා.

ලකුණු 278 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ 246 ක් පමණයි. මුම්බායි ඉන්දියන්ස් ඉනිම වෙනුවෙන් වේගවත් ලකුණු 64 ක් වාර්තා කිරීමට තිලක් වෙර්මා සමත්වූ අතර පන්දු 22 කින් නොදැවී ලකුණු 42 ක් වාර්තා කිරීමට ටිම් ඩේවිඩ් සමත්වුණා. සන්ර‍යිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ නායක පැට් කමින්ස් සිය පන්දුවාර 04 තුළ ලකුණු 35 කට කඩුලු 2ක් බිඳදැමුවා.

මෙම තරඟය තුළ කණ්ඩායම් දෙකේම ලකුණුවල එකතුව 523 ක් වූ අතර මෙය වාර්තා අතරට එක්වුණේ විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාවක් වාර්තා වූ තරඟය ලෙසයි. තරඟයේ වීරයා ලෙසින් අභිශේක් ශර්මා පිදුම් ලැබුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button