තෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 82 ක් ඉදිරියෙන්.. -
Innings Report

තෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 82 ක් ඉදිරියෙන්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ තෙවන දිනය ආරම්භ වනවිට පළමු ඉනිම ක්‍රීඩාකරන එංගලන්තය කඩුලු 04 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 23 ක් ඉදිරියෙන් පසුවුණා..

එංගලන්තය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358 ක් රැස්කළ අතර අනර්ඝ ඉනිමක් දියත්කළ කඩුලු රකින පිතිකරු ජෙමී ස්මිත් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා.. එංගලන්තය පළමු ඉනිම නිමාකළේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 122 ක් ඉදිරියෙන් සිටිමින්.. ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 103 කට කඩුලු 04 ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 85 කට කඩුලු තුනක් බිඳදැමුවා..

දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 52 ක් තුළ බිඳවැටුණු අතර ලකුණු 10 ක් ලබාසිටි දිනේශ් චන්දිමාල්ද පන්දුවක් ඇඟිල්ලේ වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත්වුණා. ඉන් අනතුරුව කමිඳු මෙන්ඩිස් සමඟ එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් ඉනිම ගොඩැනැඟු අතර මැතිව්ස් ලකුණු 65 ක් ලබාසිටියදී දැවීගියා.. ඉන් අනතුරුව සාර්ථක ඉනිමක් දියත්කරමින් කමිඳු මෙන්ඩිස් සිය තෙවන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා.

මෙම ඉනිමත් සමඟින් කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්වුණේ ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 50 ට වැඩි අවස්තාවන් 05 ක් වාර්තා කිරීමට අවම ඉනිම් ගණනක් වැයකළ ක්‍රීඩකයා ලෙසයි. මේ සඳහා කමිඳු වැයකර තිබෙන්නේ ඉනිම් 07 ක් පමණයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ටෙස්ට් පිතිකරුවන් වන තිලාන් සමරවීර සහ මලින්ද වර්ණපුර යි. ඔවුන්ට ඒ සඳහා ඉනිම් 08 ක් වැයවී තිබුණා.

  • 7 innings – Kamindu Mendis *
  • 8 innings – Thilan Samaraweera
  • 8 innings – Malinda Warnapura

තෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 204 ක් ලබාසිටි අතර නොදැවී පන්දුවට පහරදෙන කමිඳු මෙන්ඩිස් ලකුණු 56* ක් සහ දිනේශ් චන්දිමාල් ලකුණු 20* ක් රැස්කරගෙන සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 04 ක් අතැතිව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 82 ක් ඉදිරියෙන් පසුවෙනවා..

මෙම තරඟයේදී දිනේශ් චන්දිමාල් ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණුලාභීන් අතර 07 වන ස්තානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වුණා. ඒ ටෙස්ට් ලකුණු 5502 ක් ලබාසිටි හිටපු සුපිරි පිතිකරු මාවන් අතපත්තු අභිබවා යමින්..

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button