ලකුණු 42කට දැවීයාමෙන් අපි හැමෝම ශොක් වුණා – දිනේශ් චන්දිමාල්
දකුණු අප්‍රිකාව සමඟින් පැවතී පලමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 233 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ අතර, පලමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42 කට සියලුම දෙනා දැවීගියා. තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවේදී දිනේශ් චන්දිමාල්, මෙලෙස ලකුණු 42කට දැවීයාම හේතුවෙන් කණ්ඩායම කම්පනයට පත්වූ බවට ද ප්‍රකාශ කර සිටියා.
“අපි පලවෙනි ඉනිමේ ලකුණු 42කට දැවීගිය එක අපිටත් හිතාගන්න බැරිවුණා. අපි කණ්ඩායමක් විදිහට හැමෝම ශොක් වුණා. මොකද, අපි පසුගිය අවුරුදු කිහිපයක කාලයක ඉදන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ කණ්ඩායමක්. නමුත් මේ වගේ දේවල් ඕනෑම වෙලාවක වෙන්න පුලුවන්. අපේ අතින් සිදුවුණ වැරදි හදාගෙන, පලමු ඉනිමේ ලකුණු 300කට වඩා වැඩියෙන් ලබාගන්නේ කොහොමද කියලා අපි බලන්න ඕනේ. අපි හැමෝගෙම අතින් වැරදි වෙන්න පුලුවන්. ඒ වැරදි ඉක්මනින්ම හදාගන්න එක තමා ක්‍රීඩකයින් විදිහට අපි කරන්න ඕනේ.”
දකුණු අප්‍රිකාවට ආවාම අපිට අවාසනාවකට පුහුණු තරඟයක් තිබුණේ නැහැ. අපි හැමෝම එකට ක්‍රීඩා කළ පලවෙනි ඉනිම තමයි ඒක. සමහර විට ලකුණු 42ක් වැඩි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවීයන්නත් ඒක හේතුවක් වෙන්න පුලුවන්.”
එම ඉනිමේදී පිතිකරුවන්ට පන්දුවට පහරදෙන නිවැරදි ක්‍රමය සොයාගන්න බැරිවුණා. මොකද, අපි ඕවර් 13ක් 14ක් ඇතුළත සියලුම දෙනා දැවීගියා. ඒක අපේ කණ්ඩායමටම ලොකු කම්පනයක් වුණා. මීට කලින් අපේ ටෙස්ට් කණ්ඩායමේ මෙහෙම දෙයක් වෙලා තිබුණේ නැහැ.”
“කණ්ඩායමක් විදිහට අපි හොඳ මානසික මට්ටමක ඉන්නවා. පුහුණුකරු හා කළමනාකරණය අපිට හැමවෙලාවෙම ආත්මවිශ්වාසය ලබාදෙනවා. අපි ලකුණු 42ට දැවීගියත් ඔවුන් අපි ගැන විශ්වාසයෙන් කතා කළා. අපිට අවසන් ඉනිමේ ලකුණු 300කට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලබාගන්න පුලුවන් වුණා. දකුණු අප්‍රිකාවේ මේ වගේ විකට් එකක අවසන් ඉනිමේ ලකුණු 300ක් ලබාගන්න එකත් පහසු දෙයක් නෙමේ. ඒ විශ්වාසයත් එක්ක මීලඟ තරඟය හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”