පුහුණු තරඟ ද්විත්වයෙන්ම ශ්‍රී ලංකාවට පහසු ජය.. -
Match Results

පුහුණු තරඟ ද්විත්වයෙන්ම ශ්‍රී ලංකාවට පහසු ජය..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස සහ එක්දින තරඟාවලියට සූදානම් වීමේ අරමුණෙන් නවසීලන්ත XI කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පෙර පුහුණු තරඟ දෙකක් අද (23) පැවැත්වුණා.

පළමු පුහුණු තරඟය පන්දුවාර 20 ක තරඟයක් ලෙසින් ක්‍රියාත්මක වුණු අතර කඩුලු 07 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත XI කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 94 ක් පමණයි. විශිස්ට පන්දුයැවීමක නිරතවූ වනිඳු හසරංග ලකුණු 12 කට කඩුලු 03 ක් බිඳදැමූ අතර චරිත් අසලංක ලකුණු 4 කට කඩුලු 02 ක් සහ මතීශ පතිරණ ලකුණු 07 කට කඩුලු 02 ක් බිඳදැමුවා. කමිඳු මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු සහ චමිඳු වික්‍රමසිංහ අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 යි පන්දු 05 කදී කඩුලු 03 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පහසුවෙන් හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. කුසල් පෙරේරා පන්දු 22 කින් ලකුණු 30 ක් සහ කමිඳු මෙන්ඩිස් පන්දු 22 කින් ලකුණු 28 ක් වාර්තා කළා. නායක චරිත් අසලංක පන්දු 06 කින් නොදැවී ලකුණු 18 ක් වාර්තා කළා. කෙසේවෙතත් ආරම්භක පිතිකරුවන් දෙපළ වූ පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවීගියා.

දෙවන පුහුණු තරඟය පන්දුවාර 10 ක තරඟයක් ලෙස පැවැත්වූ අතර මෙම තරඟයෙන්ද ලකුණු 32 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10 ය අවසානයේ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 128 ක් රැස්කළා. වේගවත් ඉනිමක් දියත්කළ පැතුම් නිශ්ශංක පන්දු 15 කින් ලකුණු 31 ක් රැස්කළ අතර වනිඳු හසරංග පන්දු 11 කින් ලකුණු 27 ක් රැස්කළා. භානුක රාජපක්ෂ පන්දු 16 කට මුහුණදී ලකුණු 25 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත XI කණ්ඩායමට පන්දුවාර 10 ය අවසානයේ කඩුලු 02 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 96 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 32 ක පහසු ජයක් හිමිවුණා. පන්දුයැවීමේදී නුවන් තුශාර ලකුණු 10 කට කඩුලු 02 ක් දවාගැනීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button