ශ්‍රී ලංකා කණ්ඩායම 2025 වසර ජයග්‍රාහීව ආරම්භ කරයි.. -
Match Results

ශ්‍රී ලංකා කණ්ඩායම 2025 වසර ජයග්‍රාහීව ආරම්භ කරයි..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය අද (02) පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 07 ක ජයක් වාර්තා කරමින් තරඟාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 218 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟීමට සමත්වුණා.

සුපිරි ඉනිමක් දියත්කරමින් පන්දු 46 කට මුහුණදෙමින් හතරේ පහර 13 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 101 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් තෙවන විස්සයි විස්ස ශතකලාභියා බවට පත්වීමට කුසල් ජනිත් පෙරේරා සමත්වුණා. එලෙසම පන්දු 44 කින් වාර්තා කළ මෙම ශතකය වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වාර්තා වූ වෙගවත්ම ශතකය ලෙසයි.

එලෙසම අද වාර්තා කළ මෙම ඉනිමත් සමඟින් ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ 50+ ඉනිම් වැඩිම ගණනක් වාර්තා කළ පිතිකරුවා බවට පත්වීමටද කුසල් ජනිත් පෙරේරා සමත්වුණා. ඒ 50+ ඉනිම් 16 ක් වාර්තා කරමින් කුසල් මෙන්ඩිස්ව අභිබවා යමින්.

එලෙසම කුසල් ජනිත් පෙරේරා විස්සයි විස්ස ජාත්‍යන්තර ලකුණු 2000 සේ සීමාව පසුකළ අතර ඔහු වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ලකුණු 2000 ස සම්පූර්ණ කළ පළමු පිතිකරුවා ලෙසයි. එලෙසම ආසියාවෙන් පිටතදී ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරඟාවලියකදී ඉහළම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමටද කුසල් ජනිත් පෙරේරා සමත්වුණා.

  • 149 runs – Kusal Janith Perera vs NZ, 2025
  • 141 runs – Pathum Nissanka vs NZ, 2025
  • 140 runs – Asela Gunaratne vs AUS, 2017
  • 133 runs – Niroshan Dickwella vs SA, 2017

ලකුණු 219 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 211 ක් පමණයි. නවසීලන්තය වෙනුවෙන් විශිස්ට ඉනිමක් දියත්කළ රචීන් රවීන්ද්‍ර පන්දු 39 කින් ලකුණු 69 ක් රැස්කළා. පන්දුයැවීමේදී නායක චරිත් අසලංක ලකුණු 50 කට කඩුලු 03 ක් සහ වනිඳු හසරංග ලකුණු 38 කට කඩුලු 02 ක් බිඳදැමුවා.

තරඟයේ වීරයා ලෙසින් කුසල් ජනිත් පෙරේරා සම්මාන දිනාගත් අතර ඔහු වාර්තා අතරට එක්වුණේ වැඩිම වරක් තරඟයේ වීරයා සම්මානය හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි. ( 08 Times ) තරඟාවලියේ වීරයා ලෙසින් නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේකොබ් ඩෆී සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button