News
සිම්බාබ්වේ සංචාරයට පෙර දේශීය තුන්කොන් තරඟාවලියක්..

අගෝස්තු මස අඟදී සිම්බාබ්වේ තරඟ සංචාරය ආරම්භ වීමට පෙර කාලසීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට කිසිඳු තරඟාවලියක් නොමැති වීම හේතුවෙන් දේශීය තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
තරඟාවලිය අගෝස්තු 07 වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලියට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් තුනක් ක්‍රීඩාකිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසා තිබෙනවා.
ඒ අනුව එළඹෙන සිම්බාබ්වේ සංචාරය, ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය යන තරඟාවලි ත්‍රිත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිත තේරීම වෙනුවෙන් ප්‍රධානම පෙරපුහුණු තරඟාවලිය ලෙස මෙය ක්‍රියාත්මක වන බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.