වසර 12 කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින තරඟාවලි ජයක්..
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (17) නිමාවූ අතර තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 03 ක ජයක් වාර්තාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟ 2-0 ක් ලෙස තරඟාවලියේ ජය වාර්තා කළා. ඒ අනුව නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ද්වීපාර්ශ්වික එක්දින තරඟාවලි ජයක් වාර්තා කළේ වසර 12 කට පසුවයි.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 209 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ මාර්ක් චැප්මන් ලකුණු 76 ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ මහීශ් තීකශණ ලකුණු 31 කට කඩුලු 03 ක් සහ ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 46 කට කඩුලු 03 ක් බිඳදැමුවා. අසිත ප්‍රනාන්දු ලකුණු 37 කට කඩුලු 02 ක් බිඳදැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46 කදී කඩුලු 07 ක් දැවී ලකුණු 210 ක ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙනයමින් ආරම්භයේ සිට අවසානය දක්වාම සටන්කාමී ඉනිමක් දියත්කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74* ක් වාර්තා කළ අතර ඔහුට අනඟි සහයක් ලබාදුන් මහීශ් තීක්ශණ නොදැවී ලකුණු 27* ක් රැස්කළා. තරඟයේ වීරයා ලෙසින් පිට පිට දෙවන වරටත් කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත්තා.
කුසල් මෙන්ඩිස් දියත්කළ මෙම ඉනිමත් සමඟින් වාර්තා කිහිපයක් අලුත් කිරීමට ඔහු සමත්වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 2000 සේ සීමාවට වේගයෙන්ම ළඟාවූ කඩුලු රකින පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් සමත්වුණා. ඒ සඳහා ඔහුට වැය වී තිබෙන්නේ ඉනිම් 59 ක් පමණයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ එම කඩයිමට ඉනිම් 65 කදී ලඟාවූ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.
එලෙසම තරඟ 03 ක එක්දින තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ශ්‍රී ලංකා කඩුලු රකින පිතිකරුවා බවට පත්වීමටද කුසල් මෙන්ඩිස් සමත්වුණා. ඔහූ මේවනවිට ලකුණු 217* ක් රැක්කරගෙන තිබෙන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවී 2012 වසරේදී ලකුණු 206 ක් රැස්කරගෙන තිබූ හිටපු සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.
- 217 runs – Kusal Mendis vs NZ, 2024 *
- 206 runs – Kumar Sangakkara vs IND, 2012
- 183 runs – Kusal Perera vs BAN, 2019
එලෙසම 2024 වසර තුළ ජාත්‍යන්තර එක්දින පිටියේ වැඩිම ලකුණු 50+ ඉනිම් ගණනක් වාර්තා කළ පිතිකරුවා බවට පත්වීමටද කුසල් මෙන්ඩිස් සමත්වුණා. ඒ මේ දක්වා 50+ ඉනිම් 07 වාර්තා කරමින්. මීට පෙර මෙම දස්කම දක්වා තිබුණේ 2024 වසර තුළ එක්දින පිටියේ 50+ ඉනිම් 06 ක් රැස්කළ ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රීඩක මොනාන්ක් පටෙලු යි.
නවසීලන්තයට එරෙහිව තරඟ 03 ක ද්වීපාර්ශ්වික එක්දින තරඟාවලියකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කඩුලු රකින පිතිකරුවා බවට පත්වීමටද කුසල් මෙන්ඩිස් සමත්වුණා. ( 217*) මෙන්ඩිස් බිඳදැමුවේ 2020 වසරේ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක ලෝකේශ් රාහුල් ලකුණු 204 ක් රැස්කරමින් තබා තිබූ වාර්තාවයි.