මැතිවුස් – චන්දිමාල් වසර 32 ක වාර්තාවක් බිඳ හෙලයි. -
Innings Report

මැතිවුස් – චන්දිමාල් වසර 32 ක වාර්තාවක් බිඳ හෙලයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. (03) පළමු දිනට තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 80 ක් ලබාගෙන සිටියා.

කෙසේ නමුත් අද උදෑසන පළමු කඩුල්ලෙ සබඳතාව ලකුණු 93 කට සීමා කරමින් නිෂාන් මදුශ්කව ලකුණු 37 කට දවාගැනීමට නවීඩ් සද්‍රාන් සමත්වුනා. ඉන්පසු පිටියට පිවිසි උප නායක කුසල් මෙන්ඩිස්ව ලකුණු 10 කට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නිජට් මසූඩ් සමත්වුනා.

ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිමුත් කරුණාරත්න අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් ක්වයිස් අහම්ඩ්ගේ පන්දුවක් හමුවේ දැවීගියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවෙනි කඩුල්ල ලෙසින්. ඔහු ඒ වනවිට පන්දු 72 කින් වේගවත් ලකුණු 77 ක් රැස් කොට තිබුනා.

ඉන් අනතුරුව පිටියට එක්වූ දිනේෂ් චන්දිමාල් හා ඇන්ජලෝ මැතිවුස් සිව්වෙනි කඩුල්ලට ලකුණු 232 ක සබඳතාවක් එක් කලා. එය වාර්තාපොත් අතරට එක්වූයේ SSC පිටියේදී සිව්වන කඩුල්ල වෙනුවෙන් පිහිටවූ ඉහලම ලකුණු සබඳතාව ලෙසයි.

ඔවුන් දෙදෙනා එක්ව බිඳ දැමුවේ වසර 32 ක වාර්තාවක්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ අසංක ගුරුසිංහ සහ අර්ජුන රණතුංගයි. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව 1992 දී පිහිටවූ ලකුණු 230 ක සබඳතාවයි. ඇන්ජලෝ මැතිව්ස් සිය 16 වන ටෙස්ට් ශතකය වාර්තා කරද්දී දිනේෂ් චන්දිමාල් තම 15 වන ටෙස්ට් ශතකයද වාර්තා කිරීමට සමත් වුනා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට හිසරදයක්ව පැවැති මෙම ද්විත්ව ශතක සබඳතාව බිඳ දැමීමට නවීඩ් සද්‍රාන් කටයුතු කලා. ඒ ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ලකුණු 107 කට දවාගනිමින්. නව නායකයා ලෙස වැඩබාරගනිමින් ක්‍රීඩාකල පළමු ඉනිමේම දනංජය ද සිල්වාව පලමු පන්දුවෙන්ම දුවද්දි දවාගැනීමට හෂ්මතුල්ලාහ් ෂහිඩි සමත්වුනා.

ඉතාමත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටි ඇන්ජලෝ මැතිවුස් අවාසනාවන්ත ලෙස තම පිත්ත කඩුල්ලේ වැදී දැවීගියා. ඔහු ඒ වන විට ලකුණු 141 ක් රැස කරගෙන සිටියා. ඔහුගේ දැවීයාමත් සමග තරගය අද දිනට නතර කිරීමට විනිසුරුවන් කටයුතු කරනු ලැබුවා. අද දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410 කට කඩුලු 6 ලෙසින් සිටිනවා.

ඒ ඇෆ්ගනිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 212 ක් ඉදිරියෙන්. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි සදීර සමරවික්‍රම ලකුණු 21 ක් ලබාගෙන කඩුල්ලෙ රැඳී සිටිනවා

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button