ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට කාන්තා ආසියානු කුසලානයක්.. -
Match Results

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට කාන්තා ආසියානු කුසලානයක්..

2024 කාන්තා ආසියා කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරාජයට පත්කරමින්, පළමු වරට කාන්තා ආසියා කුසලානයක් දිනාගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 165 ක් ලබාගැනීමට සමත්වුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Smriti Mandana පන්දු 47 කදී ලකුණු 60ක් වාර්තාකර ගත් අතර, ඇයගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

ඉනිම අවසානයේදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Richa Ghosh පන්දු 14කට පමණක් මුහුණදෙමින් හතරේ පහර 4 ක් හා හයේ එක් හයේ පහරක් සමඟින් ලකුණු 30 ක් රැස්කර ගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී කවීශා දිල්හාරි ලකුණු 36 කට කඩුලු 2 ක් දවාගත් අතර, උදේශිකා ප්‍රබෝදනී, සචිනි නිසංසලා හා චමරි අතපත්තු එක් කඩුල්ල බැඟින් දවාගැනීමට ද සමත්වුණා.

අනතුරුව ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 167 ක් ලබාගනිමින් තරඟයෙන් කඩුලු 8 ක ජයක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ හර්ශිතා මාධවී පන්දු 51 කට මුහුණදෙමින් නොදැවී ලකුණු 69 ක් ලබාගත් අතර, ඇයගේ ඉනිමට හතරේ පහර 6 ක් හා හයේ පහර 2 ක් ඇතුළත් වුණා.

ඊට අමතරව නායිකාව වන චමරි අතපත්තු පන්දු 43 කදී ලකුණු 61ක් ලබාගත් අතර, හර්ශිතා මාදවී හට අනඟි සහයක් ලබාදුන් කවීශා දිල්හාරී පන්දු 16 කදී වේගවත් ලකුණු 30 ක් වාර්තාකර ගැනීමට සමත්වුණා.

අවසන් මහා තරඟයේ වීරයා සම්මානය හර්ශිතා මාධවී දිනාගත් අතර, තරඟාවලියේ වීරයා සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු දිනාගත්තා.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට කාන්තා ආසියානු කුසලානයක් දිනාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100,000 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

එලෙසම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සිය සමුගැනීම පිළිබඳව සිය ස්‍ථාවරයද තරඟයෙන් අනතුරුව ප්‍රකාශ කළා. ඇය ප්‍රකාශ කර සිටියේ මීළඟ එක්දින කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දක්වා තමා ක්‍රීඩාකිරීමට බලාපොරොත්තු වෙන බවයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button