ශ්‍රී ලංකාවට වාර්තාගත විස්සයි විස්ස තරඟාවලි ජයක්.. -
Match Results

ශ්‍රී ලංකාවට වාර්තාගත විස්සයි විස්ස තරඟාවලි ජයක්..

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ඊයේ පැවැත්වුණු අතර කඩුලු 09 ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් තරඟාවලියේ ජය තරඟ 2-1 ක් ලෙස තහවුරු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. මෙය, ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව සිය මව්බිමේදී ජයගත් පළමු ද්වීපාර්ශ්වික විස්සයි විස්ස තරඟාවලිය ලෙසද වාර්තා අතරට එක්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු 162 ක් රැස්කළ අතර ඉනිමේ වැඩිම ලකුණුලාභීයා වූ නායක රෝව්මන් පවෙල් ලකුණු 37 ක් රැස්කළා. පන්දුයැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීශ් තීක්ශණ ලකුණු 19 කට කඩුලු 02 ක් සහ වනිඳු හසරංග ලකුණු 24 කට කඩුලු 02 ක් බිඳදැමුවා.

මෙම පන්දුයැවීමත් සමඟින් විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ සිය මව්බිමේදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳහෙලූ ශ්‍රී ලාංකික පන්දුයවන්නා බවට පත්වීමට වනිඳු හසරංග සමත්වුණා. ඒ හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග සමඟින් සමතැන් ගනිමින්. ඔවුන් දෙදෙනාම කඩුලු 40 බැඟින් මේවනවිට දවාගෙන තිබෙනවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 කදී එක කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පහසුවෙන් හඹායමින් කඩුලු 09 ක විශිෂ්ට ජයක් වාර්තා කළා. අනර්ඝ ඉනිමක් දියත්කළ කුසල් මෙන්ඩිස් පන්දු 50 ක් තුළ නොදැවී ලකුණු 68* වාර්තා කළ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 55* ල් රැස්කළේ පන්දු 36 කින්.

කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා මෙම තරඟයේදී සිය 15 ස් වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතක වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා වාර්තා අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ වැඩිම අර්ධ ශතක ගණනක් රැස්කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනා ලෙසයි.

පැතුම් නිශ්ශංක පන්දු 22 කදී ලකුණු 39 ක් වාර්තා කළ අතර ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 1500 යේ සීමාවට වේගයෙන්ම ලඟාවූ ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්වීමට ඔහු සමත්වුණා. ඒ ඉනිම් 56 ක් වැයකරමින්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 57 කදී එම කඩයිමට ලඟාවී තිබූ කුසල් ජනිත් පෙරේරායි.

එලෙසම පැතුම් සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවයක් ගොඩනැඟූ අතර ඔවුන් දෙදෙනා වාර්තා අතරට එක්වුණේ එක් කැලැන්ඩර් වසරක් තුළ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 500+ සබඳතාවයන් ගොඩනැඟූ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවන් දෙපළ ලෙසයි.

තරඟයේ වීරයා ලෙසින් කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත් අතර තරඟාවලියේ වීරයා ලෙසින් පැතුම් නිශ්ශංක සම්මාන දිනාගත්තා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button