බ්ලූම්ෆීල්ඩ් ඉනිම අත්හිටුවීමේ තීරණය නායකයාගේ තනි මතයක්ද ?- පරීක්ෂණ මණ්ඩලය ප්‍රශ්න කරයි.

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් සහ මුවර්ස් අතර තරඟයේ අවසන් දිනයේ තේ පානයට පෙර බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සිය දෙවැනි ඉනිම අත්හිටුවා ලකුණු 147ක පහසු ඉලක්කයක් ලබාදීම හිතාමතා කළ තරග පාවාදීමක් ද යන්න සෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කෝල්ට්ස් පිටියේ පැවති මේ තරඟයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 4ක පහසු ජයක් වාර්තා කළ අතර, බ්ලූම්ෆීල්ඩ් පිල දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 239කට අත්හිටුවීමෙන් මුවර්ස් පිලට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය ලකුණු 147 කල්වේලා තිබියදී පහසු ඉලක්කයක් වීම ආන්දෝලනයට හා සැකයට තුඩුදුන්නා. එමෙන්ම බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම අත්හිටුවද්දී ජනිත් ලියනගේ නොදැවී ලකුණු 83ක් ලබා සිටි අතර, ඔහුගේ ශතකය සම්පූර්ණ කිරීමට ද ඉඩ නොදී මෙවැනි හදිසි තීරණයක් ගැනීම ඉතා අසාමාන්‍ය තත්ත්වයක් බව විචාරකයින් මත පලකලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කරමින් පවතින මේ පරීක්ෂණය විධායක කමිටු සාමාජික සහ තරඟාවලි සංවිධාන කමිටු සභාපති නලීන් අපොන්සු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර, එයට ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධි ඒකක සභාපති කෝකිල සිබේරා, ජාතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න, ක්‍රිකට් පරිපාලන ජ්‍යෙෂ්ඨ කළමනාකරු සුරේෂ් බුලන්කුලමේ, තරගාවලි සංවිධාන කමිටු ලේකම් කසුන් ප්‍රනාන්දු, සාමාජිකයන් වන ඩිලාන් පොලොන්නෝවිට හා මාලන් ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරු ඇතුළත්ව සිටිනවා.
පරීක්ෂණයට අදාළව බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් නායක නිපුන් කරුණානායක, එහි පුහුණුකරු තරංග ධම්මික, බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ලේකම් මහේෂ් සමරවික්‍රම හා කළමනාකරු උපාලි සේනාරත්න යන මහත්වරුන්ගෙන් සාක්ෂි සටහන් කර ඇති අතර, ඉනිම අත්හිටුවන මොහොතේ නොදැවී ලකුණු 83ක් ලබා සිටි ජනිත් ලියනගේ හා නොදැවී ලකුණු 19ක් ලබා සිටි ළහිරු මධුසංඛ ද පරීක්ෂණයට කැඳවා ඇත.

