ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියස..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අවසන් ටෙස්ට් තරඟයේ තෙවන දිනය නිමාවන විට තරඟයේ වැඩි ගොරව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.
තෙවන දිනය ආරම්භ වනවිට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 263 ක් රැස්කළා. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 64 ක් වාර්තා කළ අතර නායක දනංජය ද සිල්වා ලකුණු 69 ක් රැස්කළා. එලෙසම නැවතත් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් තරඟාවලියේ තෙවන ලකුණු 50+ අවස්තාවත් සමඟින් කමිඳු මෙන්ඩිස් ලකුණු 64 ක් රැස්කළා.
මෙම ඉනිමත් සමඟින් කමිඳු මෙන්ඩිස් වාර්තා අතරට එක්වුණේ අවම ඉනිම් ගණනකින් ටෙස්ට් පිටියේ ලකුණු 50+ ට වැඩි අවස්තා 07 ක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයා ලෙසයි. ඒ සඳහා ඔහුට වැයවී තිබෙන්නේ ඉනිම් 10 ක් පමණයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 14 ක් තුළ මෙම දස්කම දක්වා තිබූ දිනේශ් චන්දිමාලුයි.
එලෙසම මෙම තරඟාවලිය තුළ මේ දක්වා කමිඳු රැස්කළ ලකුණුත් සමඟින් ඔහු වාර්තා අතරට එක්වුණේ එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියක නොම්බර 07 ස්තානයේ ක්‍රීඩාකරමින් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් ආසියානු ක්‍රීඩකයා ලෙසයි. මීට පෙර එම වාර්තා හිමිකම් කීවේ ලකුණු 260 ක් රැස්කරගෙන තිබූ ඉන්දීය ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා යි.
- 263 runs – Kamindu Mendis 🇱🇰 in 2024 *
- 260 runs – Ravindra Jadeja 🇮🇳 in 2021
- 220 runs – MS Dhoni 🇮🇳 in 2011
පළමු ඉනිමේ වාසියද සමඟින් එංගලන්තය දෙවන ඉනිම ආරම්භ කළ අතර කෙසේවෙතත් එංගලන්තට දෙවන ඉනිමේදී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 156 ක් පමණයි. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ ලහිරු කුමාර ලකුණු 21 කට කඩුලු 04 ක් බිඳහෙලූ අතර විශ්ව ප්‍රනාන්දු ලකුණු 40 කට කඩුලු 03 ක් බිඳදැමුවා. අසිත ප්‍රනාන්දු කඩුලු දෙකක් සහ මිලාන් රත්නායක ද එක් කඩුල්ලක් බිඳදැමීමට සමත්වුණා.
මෙම ඉනිමේදී එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට්, කුමාර් සංගක්කාරව අභිබවා යමින් ටෙස්ට් පිටියේ වැඩිම ලකුණුලාභීන් අතර හයවන ස්තානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වුණා.
ටෙස්ට් පිටියේ වැඩිම ලකුණුලාභීන්
ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 219 ක ඉලක්කයක් හිමිවූ අතර තෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 94 ක් ලබා ප්‍රභල ස්තානයක පසුවන්නේ කඩුලු 09 ක් අතැතිව තවත් ලකුණු 125 ක් පමණක් පිටුපසින් සිටිමින්. පළමු ඉනිමේ මෙන්ම දෙවන ඉනිමේද විශිෂ්ට ඉනිමක් දියත්කරමින් සිටින පැතුම් නිශ්ශංක ලකුණු 53* ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 30* ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳීසිටිනවා.
මෙම ඉනිමේදී දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 7000 ස සම්පූර්ණ කිරීමට සමත්වූ අතර ඔහු වාර්තා අතරට එක්වුණේ මෙම කඩයිමට ලඟාවූ සිව්වන ශ්‍රී ලංකා පිතිකරුවා ලෙසයි.
එලෙසම දිමුත් කරුණාරත්න, හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර සතුව තිබු වාර්තාවක් බිඳදැමීමටද සමත්වුණා. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ සිව්වන ඉනිම තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවා බවට පත්වෙමින්.
- Dimuth Karunaratne (1967* runs) *
- Kumar Sangakkara (1963 runs)
තරඟය අතරතුර කඩුලු රකිමින් සිටි දිනේශ් චන්දිමාල් පන්දුවක් රැකගැනීමේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්වුණා. කෙසේවෙතත් කණ්ඩායමට අවශ්‍ය වුවහොත් දෙවන ඉනිමේදී පිතිකරණයේ යෙදීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා.