තියුණු තරඟයකින් අනතුරුව පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට.. -
Match ResultsVideo

තියුණු තරඟයකින් අනතුරුව පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු විස්සයි විස්ස තරඟය අද (04) පැවැත්වුණා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් සන්ටු පළමුව පන්දුයැවීමට තීරණය කළා. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 206 ක් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 04 කට දැවීගිය අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 19 කට දැවීගියා. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සමඟ එක්වූ සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා ඉනිම ගොඩැනැඟුවා. සිය 13 වන විස්සයි විස්ස අර්ධ ශතකයත් සමඟින් කුසල් මෙන්ඩිස් පන්දු 36 කදී ලකුණු 59 ක් රැස්කළ අතර සිය දෙවන විස්සයි විස්ස අර්ධ ශතකයත් සමඟින් සදීර සමරවික්‍රම නොදැවී ලකුණු 61 ක් රැස්කළා. ශ්‍රී ලංකා ඉනිම දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැගෙනයමින් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර කිහිපයේදී වේගවත් ඉනිමක් දියත්කළ නායක චරිත් අසලංක හයේ පහර හයක් සමඟින් නොදැවී ලකුණු 44 ක් රැස්කළා.

ලකුණු 207 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 68 කදී බිඳදැමීමට මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්වුනා. ඇන්ජලෝ මැතිව්ස් පන්දුවාර 03 කදී ලකුණු 17 ක් පමණක් ලබාදෙමින් කඩුලු 02 ක් බිඳදැමීමට සමත්වුණා. ඉන් අනතුරුව පිටියේ එක්වූ මහමදුල්ලාහ් සහ ජෙකර් අලී බිඳවැටුණු බංග්ලාදේශ ඉනිම කෙමෙන් කෙමෙන් ගොඩනැඟූ අතර අර්ධ ශතකයක් වාර්තා කළ මහමදුල්ලාහ් දවාගැනීමට මහීශ් තීක්ශණ සමත්වුණා. ඉන් අනතුරුව ජෙකර් අලී සටන්කාමී ඉනිමක් දියත්කරමින් බංග්ලාදේශය ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ගිය අතර මතීශ පතිරණ අතින් ගිලිහී ගිය අතිරේක ලකුණු සමඟින් ඔහුගේ පන්දුවාර 4 ට ලකුණු 56 ක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුණා.

ඒ අනුව බංග්ලාදේශයට අවසන් පන්දුවාරයේදී ලකුණු 12 ක ඉලක්කයක් හිමිවූ අතර පිටියේ ස්තාවරව සිටි ජෙකර් අලීව දවාගනිමින් අවසන් පන්දුවාරය ලකුණු 08 කට සීමාකරමින් ශ්‍රී ලංකා ජ‍යග්‍රහණය තහවුරු කිරීමට දසුන් ශානක සමත්වුනා. ඒ අනුව ලකුණු 03 ක තියුණු ජයක් හිමිකරගනිමින් තරඟ 1-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. තරඟයේ වීරයා ලෙසින් නායක චරිත් අසලංක සම්මාන දිනාගත්තා.

දසුන් ශානක යොමුකළ අවසන් පන්දුවාරය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button