චැම්පියන්ස් කුසලානයේදී ඇෆ්ගනිස්තානය සමඟින් ක්‍රීඩාකිරීමට රටවල් කිහිපයකගෙන් අකමැත්ත..
ලබන පෙවරවාරි මාසයේ පැවැත්වෙන චැම්පියන්ස් කුසලානයේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහභාගී වීම තුළින් ඇතිවන පසුබිම පිළිබඳව දකුණු අප්‍රිකානු ක්‍රීඩා අමාත්‍ය වරයා වන ග්‍රේටන් මැකන්සි, සිය හඬ අවධි කර තිබෙනවා. ඔහු පවසා තිබෙන්නේ ඇෆ්ගනිස්තාන තලේබාන් පාලන ත්‍රන්ත්‍රය තුළදී කාන්තාවන්ට සලකන ආකාරය වර්ණභේදවාදයට තුඩු දෙන බවයි.
ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබුණේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු තරඟය ලෙසින් පෙබරවාරි 21 ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ තරඟවැදීමට නියමිත පසුබිමකයි.
ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන්ට එරෙහි තලේබාන් පාලන ත්‍රන්ත්‍රය සහ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධව විරෝධය දක්වමින් එළඹෙන පෙබරවාරි 26 චැම්පියන්ස් කුසලානයේදී පැවැත්වීමට නියමිත එංගලන්ත – ඇෆ්ගනිස්තාන තරඟයද වර්ජනය කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීම සම්බන්ධව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන්ද (ECB) අවධානය යොමුකරන ලෙස ඉල්ලා තිබෙනවා. ඒ එක්සත් රාජධානියේ හිටපු කම්කරු පක්ශයේ නායකයා ඇතුළු ප්‍රභල දේශපාලනඥයන් 160 කට අධික සංඛ්‍යාවක් අත්සන් කරඇති ලිපියක් කම්කරු පක්ෂ මන්ත්‍රිනී Tonia Antoniazzai විසින් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට යොමුකර ඇති පසුබිමකයි.
ලිපිය මඟින් කාන්තාවන්ට එරෙහි තලේබාන් පාලන ත්රන්තයේ පීඩාකාරී ප්‍රතිපත්ති ඉස්මතු කරන අතර ස්ත්‍රී පුරුශ සමාජභාවය පදනම් වූ පීඩනයට එරෙහිව එක්සත් රාජධානියේ ස්ථාවරයද සඳහන් කර තිබෙනවා.
2020 දී ACB කොන්ත්‍රාත්තු ලැබූ ක්‍රීඩිකාවන්ට පලායාමට බලකරමින් තලේබාන් සංවිධානය එරට තුළ කාන්තා ක්‍රිකට් තහනම් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
මෙම ලිපිය සම්බන්ධව ECB ප්‍රධාන විධායක Richard Gould ප්‍රතිචාර දක්වා ඇති අතර මෙම ගැටලුව සම්බන්ධව විසඳුමක් සඳහා ක්‍රියාකරන නමුත් තරඟය වර්ජනය කිරීමට ප්රමුඛත්වයක් ලබානොදෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඇෆ්ගනිස්තානය සමඟින් දැනටමත් ද්වීපාර්ශ්වික තරඟාවලි ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබීම මඟින් මෙම ගැටලුවට එරෙහිව ක්‍රීයාකාරීව පෙනී සිටින බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධව ICC ය අවධානය යොමුකළ යුතු බවත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ICC තරඟාවලි වලට සක්‍රීයව සහභාගී වන බැවින් මෙම ගැටලුවට ICC යෙන් පුළුල් මැදිහත්වීමක් බලාපොරොත්තු වන බවත් ECB ප්‍රධාන විධායක Richard Gould වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.